කොරතොට පරපුර

කතරගම මහසෙන් ප්‍රතිමාව

සුරාසුර යුද්ධයේදී ඉන්දියාවට එරෙහිව යුධ කොට විජයග්‍රහණය කරන තරු රජුගේ සෙන්පතියාව සිටි අංගං ශිල්පයේ පුරෝගාමියා ලෙස සැලකිය හැකි ස්‌කන්ධ කුමරුන්ගේ මහසෙන් නම්වූ සෙන්පතියාගෙන් අනතුරුව එවකට දිවයින පුරාම පැතිරී ගිය ශිල්පයක්‌ ලෙස අංගං ශිල්පය ඉතිහාසගත විය. අනතුරුව වැඩ විසූ මහා පුලතිසි, අගස්‌ති, නාරද හා කපිල යන ඉසිවරුන් මෙයට පුනර්ජීවයක්‌ දීමට කටයුතු කළා යෑයි සැලකේ. මෙයිනුත් රාවණා රජුගේ ඥති අගස්‌ති සෘෂිවරයා මගින් රාවණයෝ මෙකී සකල කලා අඩංගු අංගම් ශිල්පය මනාසේ ප්‍රගුණ කළහ. ඒ බවට සාධක එමට ඇත. අදටත් අප අංගං ශාස්ත්‍රයේ අදහනු ලබන "රාවණ්නා" යනු මෙම රාවනා නිරිදාණන් ය. මෙසේ ශත වර්ෂ ගණනාවක්‌ හෙලදිව අසහාය රණශූරයන් බිහිකළ මෙම අංගම් ශිල්පය විජයාගමනයෙන් හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී. සී. කඩව විසිර ගිය යක්‍ෂ, රාක්‍ෂ හා නාග ගෝත්‍රිකයන් විසින් පරම්පරාගතව රැකගත් නමුත් එකල පැවති ඉන්දීය ආක්‍රමණිකයන්ගේ අමානුෂික සමූලඝාතන වලදී නෂ්ඨාවශේෂ බවට පත් විය. 

එහෙත් සීතාවක, හේවාගම් කෝරළය තුළ කොරතොට රජමහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගතව පවත්වාගෙන යැමට ඉතිරි වූ ගෝත්‍රික නායකයන් සමත් වූ බව එහි ඉතිහාසයෙන් කියෑවේ. මේ බව සනාථ කරන සෙල්ලිපි කොරතොට කන්ද ආශ්‍රිතව හමුවී ඇත. කොළඹ නගරය ආසන්නයේම ඇති ක්‍රි.පූ. යුගයට අයත් සෙල්ලිපයක් වන කොරතොට සෙල්ලිපිය තුළ පැරණි සටන් ඉතිහාසය මනාවට දක්වා ඇත. විහාරමහා දේවියගේ සටන් පුහුණු මධ්‍යස්ථානයක් ගැන දැක්වේ. පරුමුක නම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක්කළ පුරාවිද්‍යාඥයින් පවසන්නේ විහාරමහා දේවියගේ අධීක්ෂණයෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් කොරතොට ආශ්‍රිතව තිබූ  බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලුසුමන පිළිබඳ වන බවත් එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාරමහා දේවිය බවත් පිළිගැණේ.

මේ අතර පණිත මහ රජුගේ කාලයේදී සුමන සමන් නම් පාලකයාගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය වූයේ කොරතොට බවත් පුරාණ කොරතොට කන්දේ සෙල්ලිපි වලින් සනාථ වේ.   ස්ටීවන් තුකෝරළ නම් කතුවරයාගේ "දශක හතක් ලෙයින් නැහැවුණු මුල්ලේරියාව" නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙයට අමතරව "ශිලා ලේඛන සංග්‍රහය" නම් පොතේ දී කොරතොට සෙල්ලිපිය ක්‍රි.පූ. යුගයට අයත් බව සඳහන් වේ. ඉහත සාහිත්‍යාත්මක හා පුරා විද්‍යාත්මක සාක්ෂි මතින් ඔප්පු වන කොරතොට ආශ්‍රිත භූමි භාගය ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් බවට මනාව ප්‍රකට වේ.

1 comment:

  1. ඔබ තුමාට මෙම අංගම්පොර කලාව රැකගෙන ඉදිරියටම යන්නට දිරිය ශක්තිය ලැබේවා.....................

    ReplyDelete